පසුගිය මාර්තු මාසයේ වාහන 59,734ක් ලෙස වාර්තා වූ මෙරට සමස්ත වාහන ලියාපදිංචිය අප්‍රේල් මාසයේදී වාහන 51,156ක් දක්වා තියුණු ලෙස පහළ ගොස් තිබේ. මෙම පහළ යාම සඳහා සියලුම වාහන කාණ්ඩ පාහේ දායක වී ඇති අතර, විශේෂයෙන්ම ත්‍රිරෝද රථ ලියාපදිංචියේ සිදුවූ කැපී පෙනෙන පහළ යාම සමස්ත අගයට විශාල බලපෑමක් එල්ල කර ඇත.
මෝටර් රථ ලියාපදිංචිය මාර්තු මාසයේ 4,856 සිට අප්‍රේල් මාසයේදී 3,238 දක්වා පහළ ගොස් ඇත. නවතම මෝටර් රථ ලියාපදිංචිය මාර්තු මාසයේ 1,432 සිට අප්‍රේල් මාසයේදී 467 දක්වා වේගයෙන් අඩුවී ඇති අතර, බහුතරයක් වෙළඳනාමවල පහළ යාමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, BAW සන්නාමය E7 වර්ගයේ විද්‍යුත් වාහන හේතුවෙන් ලියාපදිංචි අගය 212 සිට 238 දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය. BYD සන්නාමය මාර්තු මාසයේ 807ක්ව පැවති ලියාපදිංචිය අප්‍රේල් මාසයේදී 29ක් දක්වා විශාල පහළ යාමක් වාර්තා කර ඇත. මෙම වෙළඳපොළ තුළ කුඩා මෝටර් රථ 95%ක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටින අතර, මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ප්‍රතිශතය ද 40%ක මට්ටමක පවතී.
පාවිච්චි කළ මෝටර් රථ ලියාපදිංචිය ද මාර්තු මාසයේ 3,424 සිට අප්‍රේල් මාසයේදී 2,771 දක්වා අඩුවී තිබේ. මෙම අංශයේ වැඩිම ලියාපදිංචියක් වාර්තා කර ඇත්තේ සුසුකි (Suzuki) සන්නාමය මගිනි (914). ඉන් අනතුරුව ටොයෝටා (Toyota – 821), දයිහත්සු (Daihatsu – 461) සහ නිසාන් (Nissan – 320) සන්නාමයන් පසුවේ. පාවිච්චි කළ මෝටර් රථ අංශයේ ද 96.6%ක වැඩි ප්‍රතිශතයක් කුඩා මෝටර් රථ සතු වන අතර, එහිදී මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ප්‍රතිශතය 48.4%ක් ලෙස සටහන් වේ.














