වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සමගාමීව, වියට්නාම සහ නැගෙනහිර ආසියානු රටවල බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් “බුද්ධ වන්දනා” නමැති බෞද්ධ සංචාර පැකේජය ඊයේ (16) කොළඹදී එළිදැක්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යෝජනාවක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් සංචාරක ව්‍යාපාරය ග්‍රාමීය මට්ටමට ව්‍යාප්ත කරමින් දේශීය ව්‍යවසායකයින් සඳහා නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.
මෙම පැකේජය ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික ආකර්ෂණ ස්ථාන විවිධාංගීකරණය කිරීමට සහ වියට්නාම වෙළෙඳපොළ තුළ මෙරට සංචාරක ප්‍රවර්ධනය ශක්තිමත් කිරීමට ඉවහල් වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසීය. දෙරට අතර සෘජු ගුවන් ගමන් සේවා 2026 අගෝස්තු 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිත අතර, එමගින් සංචාරක, වෙළෙඳ හා ජනතා හුවමාරු සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.
















