ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ආර්ථික සබඳතා නව මානයකට ඔසවා තබමින්, 2030 වසර වන විට වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක ඉලක්කය කරා ගෙන යාමට දෙරටේ නායකයින් එකඟ වී තිබේ. මෙරට නිල සංචාරයක නිරත වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට මෙය වඩාත් කාලෝචිත අවස්ථාව බවයි.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණික හුවමාරුව සහ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට තීරණය වී ඇත. දෙරට අතර පවතින ඓතිහාසික බැඳීම වෙළඳ සහ ආයෝජන අවස්ථා හරහා තවදුරටත් පුළුල් කිරීම මගින් කලාපීය ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම ජනාධිපතිවරුන්ගේ මූලික අභිප්‍රාය වී තිබේ.














