දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින උෂ්ණාධික සහ වියළි කාලගුණික තත්ත්වය මෙන්ම එල්නිනෝ (El Niño) බලපෑම හමුවේ පවතින ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු ජල හිඟයක් පවතින අතර, දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73ක සමස්ත ධාරිතාවයෙන් දැනට ඉතිරිව ඇත්තේ සියයට 40ක පමණ ප්‍රමාණයකි. අගෝස්තු මාසයේ පවතින අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජලය වාෂ්ප වී සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන බැවින්, නැවත වර්ෂාපතනයක් ලැබෙන තෙක් ජලය අපතේ නොයවා ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙස බලධාරීහු අවධාරණය කරති.
මේ අතර, එළඹෙන මහා කන්නයේ වගා කටයුතු ඔක්තෝම්බර් මස 1 සහ 15 අතර කාලය තුළ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය. ගොවි ජනතාව සියලු දෙනා එකවර වගා කටයුතු ඇරඹීම තුළින් වාරිමාර්ග ජලය මෙන්ම විදුලිය සහ පානීය ජලය විශාල වශයෙන් ඉතිරි කර ගනිමින් ඉදිරි කාලගුණ තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.














