ශ්රී ලංකාවට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම දිවයිනෙන් ඔබ්බට බටහිර දෙසට ගමන් කරමින් පැවතියද, එහි අවශේෂ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් අද (22) පස්වරුවේ නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ ගාල්ල දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, දිවයිනේ සෙසු ප්රදේශවලද පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවද සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ප්රමාණවත් පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අංශ වැඩිදුරටත් දන්වා සිටියි.














