කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ කාලගුණික තත්ත්වයේ වෙනස්කම් රැසක් අපේක්ෂා කළ හැකි බවයි. විශේෂයෙන්ම හෙට (06) දිනෙන් පසු දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අද (05) පස්වරු 2.00න් පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත. මීට අමතරව බස්නාහිර, සබරගමුව, පුත්තලම, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
උතුරු, උතුරු-මැද සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි අතර, මධ්‍යම, ඌව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ප්‍රවේශම් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














