දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත.
මීට අමතරව, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු යාමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නිකුත් කරනු ලබන මීළඟ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















