හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදු වූ රුපියල් කෝටි තුනහමාරක (රු. 35,000,000) දැවැන්ත බැංකු කොල්ලය සම්බන්ධයෙන් පවතින විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 03 වැනි දින දහවල් 2.50ත් 2.55ත් අතර කෙටි කාල පරාසයක් තුළදීය. ඉතා සංවිධානාත්මක ලෙස සිදු කර ඇති මෙම කොල්ලය පිටුපස බැංකු අභ්‍යන්තරයේ සිටින සේවකයෙකු හෝ සේවකයින් පිරිසක් සම්බන්ධ වී සිටිය හැකි බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කරයි. ඒ අනුව, බැංකුවේ ආරක්ෂක පද්ධති සහ එම මොහොතේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ ක්‍රියාකලාපය පිළිබඳව ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කිරීම සහ බැංකු ගනුදෙනු සම්බන්ධ කරුණු තවදුරටත් විශ්ලේෂණය කිරීමට පියවර ගෙන ඇති අතර, සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසය විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
















