මොස්කව් නුවර VDNH ප්‍රදර්ශන සංකීර්ණයේදී ජූනි 10 සිට 14 දක්වා පැවැත්වුණු 6 වැනි ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක සංසදය 2026 හිදී ජාත්‍යන්තර සහභාගීත්වයන් 12 ක් අතුරින් විශිෂ්ටතම ඇගයීමක් වන ‘Let’s Travel First-Degree Laureate Award’ සම්මානයෙන් ශ්‍රී ලංකාව පිදුම් ලබා තිබේ. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික සහ ව්‍යාපාරික සංචාරයට එක් වූහ. නරඹන්නන් ලක්ෂ පහකට අධික පිරිසක් පැමිණි මෙම සංසදයේදී රුසියාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දිමිත්‍රි වක්රුකොව් (Dmitry Vakhrukov) මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඍජු ගුවන් ගමන්, සරල කළ වීසා ක්‍රමවේද සහ ඒකාබද්ධ අලෙවිකරණ වැඩසටහන් පිළිබඳව වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්විණි. සාම්ප්‍රදායික නර්තනය, අලි ඇතුන්ගේ අනුරූ සහ සැබෑ ලංකා තේ රසවිඳීමේ අවස්ථා ඇතුළත් වූ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය මෙහිදී කාගේත් ආකර්ෂණය දිනාගත් අතර, රුසියාවේ ප්‍රමුඛතම TASS සහ Sputnik මාධ්‍ය ආයතන හරහා ලංකාවේ සංචාරක සන්නාමයට ඉහළ ප්‍රචාරණයක් ලබා ගැනීමටත්, රුසියාවේ කලාප අටක සංචාරක සංවිධායකයන් සමඟ සාර්ථක ව්‍යාපාරික (B2B) සබඳතා ගොඩනඟා ගැනීමටත් මෙමඟින් මඟ පෑදුණි.
















