2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ප්‍රකාශයට පත් කළ 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ හදිසි වෙනසක් සිදු කර තිබේ. ඒ, සංචිතයට ඇතුළත්ව සිටි යොවුන් දඟපන්දු යවන ක්‍රීඩිකා සෂිනි ගිම්හානි මුහුණ දුන් හදිසි ආබාධයක් හේතුවෙනි. ඇය වෙනුවට දකුණතින් මධ්‍යම වේගපන්දු යවන ක්‍රීඩිකා චේතනා විමුක්ති සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු අතරතුරදී සෂිනි ගිම්හානිගේ කොන්දේ පහළ ප්‍රදේශයේ (Lower back) ඇති වූ දැඩි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඇයට මෙවර ලෝක කුසලාන සිහිනය අහිමි වී ඇති බවයි.
මේ හේතුවෙන් පසුගිය ජූනි 02 වැනිදා ලෝක කුසලාන පූර්ව පුහුණු තරග සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ද සෂිනි ගිම්හානිට අවස්ථාව අහිමි විය. ඒ අනුව තාක්ෂණික කමිටුවේ අනුමැතිය පරිදි ඇය වෙනුවට ආදේශක ක්‍රීඩිකාව ලෙස චේතනා විමුක්තිව වහාම ක්‍රියාත්මක වන පරිදි සංචිතයට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
















