කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (ජූනි 06) දිනය සඳහා කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින්, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස මහජනතාවට දන්වා තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද දිනය පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ ඉඩකඩක් පවතී. අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසත්, අනාරක්ෂිත ස්ථානවලින් ඉවත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැඩිව අවවාද කරයි.
















