බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය, තරග 3-0ක් ලෙස ඉතා සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. තරගාවලියේ තෙවන සහ අවසන් තරගය ලකුණු 03කින් ජයගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය ආධිපත්‍යය තහවුරු කළහ.
බංග්ලාදේශයේ ශිල්හේට් හි පැවති අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය එක් ඉනිමක් පන්දුවාර 09කට සීමා කිරීමට පියවර ගැනුණි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 09 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 84ක් පමණි.
මෙම තරගාවලිය පුරාම විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පළමු තරගය ලකුණු 25කින් සහ දෙවන තරගය ලකුණු 21කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළට ඔසවා තැබීය.














