තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා ලබන මැයි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් ඉකුත් අප්‍රේල් 25 වන දින කටුනායක ගුවන්තොටුපොළේදී කිලෝග්‍රෑම් 112ක් බරැති කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට පත්විය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් දින 07ක් රඳවාගෙන සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අද (02) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙම ජාවාරම ‘අමිතානන්ද’ නම් චීවරධාරියෙකු විසින් මෙහෙයවා ඇති බවයි. ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් එම ප්‍රධාන සැකකරු හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මොහුගේ මෙහෙයවීම මත මීට පෙර අවස්ථාවකදීද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.














