සෞදි අරාබියේදී මරණ දඬුවමකට නියම වූ බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා පවසනවා.
ඔහු සඳහන් කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නඩුව හසුරුවා ඇති ආකාරය සහ අභියාචනා ක්‍රියාවලිය පිළිබඳවද ප්‍රශ්න මතු කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.
වාර්තා අනුව, අනෝජන්ට මීට පෙර වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම වී තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු මරණ දඬුවම නියම වී ඇති බව සඳහන්.
ශානකියන් රාසමාණික්කම් මහතා පවසන්නේ ඉතිරිව ඇති සියලුම නීතිමය ක්‍රියාමාර්ග සහ සමාව ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කරමින්, සෞදි බලධාරීන් සමඟ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීම් සිදුකළ යුතු බවයි.
කෙසේ වෙතත්, මරණ දඬුවම සම්බන්ධයෙන් මේ වනවිට නිල වශයෙන් තහවුරු කළ තොරතුරු සීමිත බවද වාර්තා සඳහන් කරනවා.














