සූඩානයේ මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනුජත් සිව්රාසා සිරමැදිරිය තුළදී ප්‍රහාරයකට ලක්ව ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසයි.
පවුලේ සාමාජිකයන් සඳහන් කරන ආකාරයට, ඊයේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනුජත් තමන්ට සිදුවූ ප්‍රහාරය පිළිබඳව දැනුම් දී ඇති අතර, එහිදී ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බව සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර, සිරමැදිරිය තුළ අනුජත්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා තිබේ.
මේ අතර, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර ඇත්තේ රජය මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවයි.
අනුජත් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට සෞදි අරාබිය වෙත ගොස් සිටින ශ්‍රී ලාංකික දූත පිරිසක්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අනුජත්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.















