එක්සත් ජනපද නාවික හමුදා පශ්චාත් උපාධි අධ්යයන ආයතනයෙන් (NPS) ශාස්ත්රපති උපාධියක් ලබා ගනිමින් සුවිශේෂී දස්කම් දැක්වූ ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි මහත්මිය කොළඹ පිහිටි එක්සත් ජනපද මධ්යස්ථානයේදී ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා විසින් විශේෂ ඇගයීමකට ලක් කරනු ලැබ තිබේ. මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණු අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසප් සහ මාධ්ය අධ්යක්ෂ කමාන්ඩර් සී.ආර්.පී. වලකුළුගේ යන මහත්වරුන් ද සහභාගී වී ඇත.
ලුතිනන් කමාන්ඩර් කත්රිආරච්චිගේ ජයග්රහණයෙන් ඇයගේ සුවිශේෂී කැපවීම මෙන්ම ඇමරිකානු හමුදා අධ්යාපනයේ වටිනාකම මැනවින් පිළිබිඹු වන බව තානාපති එරික් මයර් මහතා මෙහිදී සඳහන් කර ඇත. එක්සත් ජනපද ජාත්යන්තර හමුදා අධ්යාපන හා පුහුණු වැඩසටහන (IMET) යටතේ අරමුදල් සපයන ලද මෙම පුහුණුව හරහා ඇය ආරක්ෂක සැපයුම් කළමනාකරණ වැඩසටහන විශිෂ්ට ලෙස සම්පූර්ණ කරමින් 3.98ක ඉහළ ශ්රේණි ලකුණු සාමාන්යයක් (GPA) සහ විශිෂ්ට නිබන්ධන සම්මානයක් ද හිමිකරගෙන තිබේ.
කැලිෆෝනියාවේ මොන්ටෙරේහි පිහිටි මෙම ආයතනයෙන් ජාත්යන්තර සිසුන් දෙදෙනකුට පමණක් වාර්ෂිකව පිරිනමනු ලබන විශිෂ්ට ජාත්යන්තර ශිෂ්ය සම්මානයට ද ඇය පාත්ර වී ඇත. හොරණ තක්ෂිලා මධ්ය විද්යාලයේ ආදි ශිෂ්යාවක වන ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි, මීට පෙර 2013 වසරේදී කීර්තිමත් ‘Sword of Honour’ සම්මානය දිනාගත් පළමු කාන්තා මිඩ්ෂිප්මන්වරිය ලෙස ද ශ්රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.














