නේපාල – ටිබෙට් දේශසීමාවේ ඇතිවූ විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයින් පිරිස අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් ද වන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
සිඩ්නි නුවර පදිංචිව සිටි 47 හැවිරිදි චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි ෂයිලජා මුරලිදරන් සහ ඔවුන්ගේ වයස අවුරුදු 14 සහ 11 යන වයස්වල පසුවන පුතුන් දෙදෙනා මෙසේ අතුරුදහන් වී තිබේ. චන්ද්‍රසේකරන් යාපනයේ කෝපායි ප්‍රදේශයේ අයෙකු වන අතර, ඔවුන් කයිලාශ් පර්වතය වන්දනා කිරීම සඳහා ගොස් සිටියදී අගෝස්තු 26 වනදා මෙම අනතුරට මුහුණ දී ඇත. විනාශකාරී ගංවතුර හේතුවෙන් දුරකථන සහ විදුලි සන්නිවේදනය බිඳවැටීම නිසා ඔවුන් සමඟ පැවැති සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මෙතෙක් තොරතුරක් නොමැති ඕස්ට්‍රේලියානුවන් 43 දෙනා සොයා ඕස්ට්‍රේලියානු සහ නේපාල සහන කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.













