පූනාගල කබරගල මලයාලම් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ලබා දුන් වුවද, පාන්පිටි මිල රුපියල් 17කින් ඉහළ නැංවීම මඟින් රජය පොඩි මිනිසාට දැඩි අසාධාරණයක් කර ඇති බව ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය පවසයි
පසුගිය සතියේ පූනාගල කබරගල මලයාලම් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ලබා දුන් ආණ්ඩුව, එහි උණුසුම යන්නට මත්තෙන් පාන්පිටි මිල රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර, එම නිසා පාන්පිටි ආශ්‍රිත ආහාර වර්ගවල මිලද ඉහළ ගොස් ඇත. වතුකරයේ මලයාලම් ජනතාවගේ ආහාර රටාවේ මුල් තැනක් ගන්නා පාන්පිටි මිල ඉහළ යෑම දිවයිනේ සිටින සියලු මලයාලම් ජනතාවගේ පොකැට්ටුවට තදින් දැනෙනු ඇතැයි එම සංවිධානය තරයේ විශ්වාසය පළ කරයි.
පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව සමාගම්වලට අවශ්‍ය පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තීරණය කිරීම හේතුවෙන් දැඩි බදු බර හමුවේ මිරිකී සිටින පොඩි මිනිසා කබලෙන් ලිපට වැටී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. එසේම, සොච්චම් මුදලකින් ඉන්ධන මිල අඩු කිරීම සාමාන්‍ය ජනතාවගේ පසුම්බියට නොදැනෙන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් භාවිත කරන සුඛෝපභෝගී වාහන හිමි ධනපති පන්තියට එහිදී වැඩි සහන ලබා දීම දැඩි ලෙස හෙළා දකින බව ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. පාරිභෝගිකයා ගැන සිතා මිල නියාමනයක් ඇති කර, පාරිභෝගික පනත් සංශෝධනය කර ජනතාවට සෙත සලසා දෙන ලෙස ඔවුන් රජයට මතක් කර සිටියි.













