මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද දිනයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිල වශයෙන් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවලට අනුව, ඩොලරයේ විකුණුම් මිල රුපියල් 342 සීමාව ද ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව මහ බැංකු දත්තවල අද දින ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් සහ විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙස සටහන් විය. ඊයේ (19) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් සහ විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙස පැවති අතර, ඒ අනුව පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 4.63කින් ඉහළ ගොස් තිබේ. මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක අද දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් වැනි ඉහළ අගයක සටහන් වූ අතර එහි ගැනුම් මිල දක්වා තිබුණේ රුපියල් 335.65ක් ලෙසය. මැදපෙරදිග පවතින දේශපාලන අර්බුද හමුවේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව ඉහළ යාම මෙලෙස දේශීය විනිමය වෙළෙඳපොළට සෘජුව බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














