ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (15) දින තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව මෙරට වාණිජ බැංකු වාර්තා කරයි. ඊයේ (බ්‍රහස්පතින්දා) පැවති අගයන්ට සාපේක්ෂව අද දින ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 332 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය මෑත කාලීනව වාර්තා වූ ඉහළම අගයකි. සෙලාන් බැංකුවේ දත්තවලට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.35ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 330.50 සීමාවේ සිට ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ. මෙලෙස රුපියල වේගයෙන් බාල්දු වීම හමුවේ මෙරට ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි ඉදිරියේදී බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















