ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය “විරෝධතා නොමැති බවට වන සහතිකය” (NOC) තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන්නැයි ඉල්ලා ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම අද (අප්‍රේල් 23) ඔහු විසින්ම ඉල්ලා අස්කර ගන්නා ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා මහතා ඇතුළු බලධාරීන් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය (Fitness Test) සමත් නොවීම හේතුවෙන්, තේරීම් කමිටුවේ නිර්දේශ මත මෙම සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. එය නීතිවිරෝධී බව පවසමින් නුවන් තුෂාර මහතා නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණද, අද දින පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය. මේ අනුව නුවන් තුෂාරට ජාත්‍යන්තර ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට පනවා තිබූ එම බාධාව සම්බන්ධයෙන් පැවති අධිකරණ ක්‍රියාවලිය අදින් අවසන් විය.














