රටවල් 108ක සිසු දැරියන් එක්ව ප්‍රථම වරට චන්ද්‍රිකාවක් සැලසුම් කර නිර්මාණය කිරීමේ පෙරළිකාර ව්‍යාපෘතියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ශිෂ්‍ය නියෝජිත සනීසා ගුණවර්ධන සහ ශ්‍රී ලංකාව සඳහා ShakthiSAT තානාපති ආචාර්ය සුලෝචනා සේගේරා වෙත ඉන්දියාවට යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, Mission ShakthiSAT චාරිකාව සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) අනුග්‍රහය දක්වයි.
තරුණ පරපුරේ සිහින සැබෑ කරගැනීම සඳහා ඔවුන්ව සවිබල ගැන්වීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්වල මූලික අරමුණක් වී ඇති අතර, වසර ගණනාවක් පුරා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ඇතුළු ආයතන රැසක් සමඟ එක්ව දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් යහපත් කිරීම සඳහා ගුවන් සේවය දායක වී ඇත.
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව හඳුන්වා දීම සඳහා සකස් කරන ලද විශේෂිත STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත) අධ්‍යාපන වැඩසටහන සඳහා ශ්‍රී ලංකික පාසල් සිසුවියන් 200කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ඉතා තරගකාරී ජාතික තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව සනීසා ගුණවර්ධන තෝරා ගන්නා ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙන ලද්දේ “Space Kidz India” හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ආචාර්ය ශ්‍රීමති කේසන් විසිනි.
Mission ShakthiSAT හි මීළඟ අදියර 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ Gautam Buddha University හිදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ජාත්‍යන්තර ශිෂ්‍ය නියෝජිතයන් එක්ව උසස් මට්ටමේ චන්ද්‍රිකා ඒකාබද්ධ කිරීමේ කටයුතු, නායකත්ව සංවර්ධන වැඩසටහන් සහ ජාත්‍යන්තර STEM වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත. මෙම චන්ද්‍රිකාව 2026 සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය තුළ අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සුවිශේෂී ගමන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකාර දීපාල් පෙරේරා මහතා කියා සිටියේ, සනීසා සහ ආචාර්ය සුලෝචනාට සහාය වීමට ලැබීම සහ අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධ ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලාංකික දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවයි.
තම හැඟීම් ප්‍රකාශ කරමින් සනීසා ගුණවර්ධන පැවසුවේ, මෙම ජාත්‍යන්තර මෙහෙයුමේදී තම රටේ නම රැගෙන යාමට ලැබීම සැබෑ වූ සිහිනයක් බවත්, විද්‍යාව, තාක්ෂණය සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රය වෙත යොමු වීමට ශ්‍රී ලාංකික තරුණියන්ව මෙමගින් දිරිමත් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
















