විදේශගතව සිට නැවත ශ්රී ලංකාවට පැමිණෙන ශ්රී ලාංකිකයන්ට මෙරට වලංගු රියදුරු බලපත්රය භාවිත කර නීත්යානුකූලව වාහන ධාවනය කළ හැකි බව ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අමාත්යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව, ශ්රී ලංකාවෙන් නිකුත් කළ වලංගු රියදුරු බලපත්රයක් හිමි පුද්ගලයෙකුට විදේශගතව සිට යළි මෙරටට පැමිණි පසු එම බලපත්රය භාවිත කරමින් රිය පැදවීමේ හැකියාව පවතින බව ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම, විදේශගතව සිටින ශ්රී ලාංකිකයෙකු එරට රියදුරු බලපත්රයක් ලබාගැනීමේදී තම ශ්රී ලාංකික රියදුරු බලපත්රය භාරදී ඇත්නම්, අදාළ ලේඛන ඉදිරිපත් කර මෙරට සාමාන්ය රියදුරු බලපත්රය නැවත ලබාගත හැකි බවද අමාත්යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ රියදුරු බලපත්රය අස්ථානගත වී ඇති පුද්ගලයන්ට ද සාමාන්ය පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්රයක් සකස් කරගැනීමේ පහසුකම් සලසා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
















