තඹුත්තේගම, නියඩාවල ප්රදේශයේ අලි–මිනිස් ගැටුම උග්ර වෙමින් පවතින අතර, ඊයේ රාත්රියේ ගම්වැදුණු වනඅලින් පොල් ගස් 20කට ආසන්න ප්රමාණයක් පෙරළා දමා කෙසෙල් පැළ 100කට වැඩි ප්රමාණයක් විනාශ කර ඇති බව වාර්තා වේ.
ප්රදේශවාසීන් පෙන්වා දෙන්නේ, නිසි ප්රමිතියෙන් යුත් අලි වැටක් නොමැතිවීම හේතුවෙන් වනඅලින් නිරන්තරයෙන් ගම්වැදීම සිදුවන බවයි. ඵලදාව හටගත් විශාල පොල් ගස් විනාශ වීම හේතුවෙන් ඉදිරියේදී පොල් හිඟයක් පවා ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔවුහු පවසති.
වනඅලින් අනතුරට හෝ විපතට පත්වන අවස්ථාවලදී ඔවුන් බේරාගැනීමට ජනතාව සහ රජය එක්ව කටයුතු කරන ආකාරයෙන්ම, වනඅලින්ගෙන් පීඩාවට පත්වන ගොවි ජනතාවගේ ජීවනෝපාය සහ වගාවන් ආරක්ෂා කිරීමටද රජය කඩිනමින් මැදිහත් විය යුතු බව ප්රදේශවාසීහු ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘මෙහෙවරක් අපේ’ සංවිධානයේ අජිත් ජයවර්ධන සඳහන් කර ඇත්තේ, වනඅලින්ට මෙන්ම ඔවුන්ගෙන් පීඩාවට පත්වන ගොවීන්ටද රජය සාධාරණය ඉටුකළ යුතු බවයි.
එමෙන්ම, ප්රදේශයට ආසන්නව පිහිටි අක්කර සිය ගණනකින් යුත් ‘නීරාවිය ෆාම්’ නමැති රජයේ ගොවිපළ වසා දැමීම හේතුවෙන් එම භූමියේ වනඅලි ගහනය ඉහළ ගොස් ඇති බවත්, එම තත්ත්වය අලි–මිනිස් ගැටුම තවදුරටත් උග්ර කිරීමට හේතු වී ඇති බවත් ‘මෙහෙවරක් අපේ’ සංවිධානයේ සභාපතිවරයා සහ ප්රදේශවාසීහු පෙන්වා දෙති.













