ශ්‍රී ලංකාව ජත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තබමින්, චීනයේ හොංකොං හි පැවැති 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 ඉසව්වේ ඓතිහාසික රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික අති දක්ෂ මලල ක්‍රීඩිකා තරුෂි අභිෂේකා සමත් වී තිබේ. මෙය ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම රන් පදක්කම ලෙස වාර්තාපොත් අතරට එක්වේ.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට පිවිසි තරුෂි අභිෂේකා, අනතුරුව ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලෙන් සිය දක්ෂතා ඔපමට්ටම් කරගනිමින් ජාතික මට්ටම දක්වා පැමිණියාය. ඇය සතු නොසැලෙන කැපවීම හඳුනාගත් SCOT Campus ආයතනය, ඇයගේ ක්‍රීඩා සිහිනය සැබෑ කිරීම සඳහා 2024 වසරේ සිට ඇයට පූර්ණ අනුග්‍රහය දැක්වීම ආරම්භ කළ අතර ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන් මහතාගේ නිවැරදි මඟපෙන්වීම ද ඇයගේ ජයග්‍රහණයට ප්‍රධානතම සාධකයක් විය.
ජාත්‍යන්තර පිටියේ කෙටි කලකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් මෙරටට දිනා දුන් තරුෂි, 2024 වසරේ ඩුබායි හි පැවැති ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වෙන් 4 වන ස්ථානය හිමිකර ගත්තාය. ඉන් නොනැවතුණු ඇය, 2025 වසරේ සෞදි අරාබියේ පැවැති 6 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මෙරටට රන් පදක්කමක් උරුම කර දුන්නේ එම ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාසගත වෙමිනි. මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉමහත් කීර්තියක් අත්කර දුන් තරුෂි අභිෂේකා ක්‍රීඩිකාවට ඉදිරි ඔලිම්පික් සිහින සැබෑ කරගැනීමට ද දේශීය ක්‍රීඩා ලෝලීන්ගේ සුබපැතුම් එක්වෙයි.
















