ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගීන් හසුරුවාලීම සහ බිම් මෙහෙවර සේවා (Ground Handling Services) සැපයීම සඳහා නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම සේවා කොන්ත්‍රාත්තුව සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් අනුගමනය කර ඇති අතර, ඒ සඳහා ලංසු දෙකක් ලැබී තිබුණි. ලැබුණු ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත Bird Flight Services (India) Private Limited ආයතනය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය විය.
මෙම ගිවිසුම 2026 ජූනි මස 01 වන දින සිට 2029 මැයි මස 31 වන දින දක්වා වසර තුනක කාලසීමාවක් සඳහා වලංගු වේ. ඉන්දීය රුපියල් මිලියන 332.85ක මුදලක් මෙම සේවා සැපයීම සඳහා වෙන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යෝජනාව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
















