කළුතර ප්‍රදේශයේ හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා අද (23) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උදය කුමාර නැමැති පොලිස් පරීක්ෂකවරයෙකි.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් පවත්වා ඇති බවයි. එම වාහනයට එරෙහිව අධිකරණය හමුවේ අපරාධමය චෝදනා ගොනු නොකර, සාමාන්‍ය පරිදි කරුණු වාර්තා කර වාහනය නැවත හිමිකරුට ලබා දීමට කටයුතු කිරීම සඳහා සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් ලක්ෂ 11ක මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
පැමිණිලිකරු විසින් ඉකුත් 30 වැනි දින අදාළ මුදලින් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබා දී ඇති අතර, ඉතිරි මුදල වූ රුපියල් ලක්ෂ 10ක මුදල ලබා ගනිමින් සිටියදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් කොමිසම කළ පැමිණිල්ලකට අනුව ඊයේ (22) රාත්‍රියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.
















