ජර්මනියේ හැම්බර්ග් නුවරදී පසුගියදා පැවති ‘PAX International Readership Awards 2026’ සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපය වෙනුවෙන් විශිෂ්ට සම්මාන දෙකක් (02) දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) සමත්ව තිබේ. ගෝලීය පාඨකයන්ගේ මනාපය අනුව ජයග්‍රාහකයන් තෝරාගනු ලබන මෙම ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ‘හොඳම සමස්ත මගී අත්දැකීම’ (Best Overall Passenger Experience – South Asia) සහ ‘වඩාත්ම දියුණු ගුවන් සේවය’ (Most Improved Airline) යන සම්මාන ද්විත්වය හිමි විය.
මෙහිදී ගුවන් ගමන් තුළදී ලබාදෙන ඉහළම ප්‍රමිතියෙන් යුත් ආහාරපාන සේවා, විනෝදාස්වාද පහසුකම් සහ ආසන පහසුව ආදී සමස්ත ගුණාංග සැලකිල්ලට ගනිමින් ‘හොඳම සමස්ත මගී අත්දැකීම’ සඳහා වන සම්මානය ශ්‍රීලංකන් සමාගමට හිමිව ඇත. වර්තමානය වන විට Codeshare හවුල්කාරීත්වයන් ද ඇතුළුව ලොව පුරා රටවල් 61ක ගමනාන්ත 120ක් දක්වා සිය සේවා ජාලය පුළුල් කර ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය, අති නවීන A330-200/300 සහ A320/321 ගුවන් යානා බලඇණියක් උපයෝගී කරගනිමින් යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග මෙන්ම ආසියානු කලාපය පුරා සෘජු ගුවන් ගමන් මෙහෙයවනු ලබයි.
















