තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. තම ධුරය සම්බන්ධයෙන් මෑතකාලීනව මාධ්‍ය තුළ පළ වූ විවිධ අනුමාන කිරීම් සහ ප්‍රවෘත්ති පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ආණ්ඩුකාරවරයා අද (17) දින මෙම විශේෂ මාධ්‍ය ප්‍රකාශය නිකුත් කර ඇත.
ආණ්ඩුකාරවරයා ලෙස පොදු මහජන සේවයේ වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන (FDI) සඳහා වන ජනාධිපති විශේෂ දූතයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් සහ තම පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන යාම දැනට පවතින දැඩි අභියෝගයක් වී ඇති බැවින්, තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට ඇති කැමැත්ත මීට පෙර ද ජනාධිපතිවරයා වෙත දන්වා තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, නව ආණ්ඩුකාරවරයෙකු පත් කර පරිපාලන කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා, ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරගෙන යාමට තමන් තීරණය කළ බව හනීෆ් යූසුෆ් මහතා පවසයි. ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට දායක වෙමින්, ජනාධිපතිවරයාගේ දැක්මට අනුව විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූතයා ලෙස (ගරු සේවා පදනම මත) තවදුරටත් ස්වේච්ඡාවෙන් සේවය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.












