කෘත්‍රිම බුද්ධිය (AI) යනු තවදුරටත් ඈත අතීතයකට හෝ අනාගතයකට අයත් සංකල්පයක් නොවන අතර, ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සැමගේ දෛනික ජීවිතයට එය දැනටමත් බද්ධ වී අවසන්ය. රචනා සැකසීම, පැවරුම් සඳහා අදහස් උත්පාදනය කිරීම සහ සංකීර්ණ කියවීම් සරල කර ගැනීම වැනි ශාස්ත්‍රීය කාර්යයන් සඳහා AI මෙවලම් මගින් විප්ලවීය වෙනසක් සිදුව තිබේ. මෙම යථාර්ථය හමුවේ විශ්වවිද්‍යාලවලට තවදුරටත් AI භාවිතය සීමා කිරීමට හැකිද, නැතහොත් එයට අනුගත වීම අනිවාර්යද යන්න මේ වන විට පැන නැගී ඇති තීරණාත්මක ප්‍රශ්නයකි.
යුදෙව් නෝවා හරාරි සිය ‘21 Lessons for the 21st Century’ කෘතියේ පෙන්වා දෙන පරිදි, නූතන සමාජයේ පවතින එකම ස්ථිර දේ වන්නේ ‘වෙනස’ පමණි. ඔහු අවධාරණය කරන්නේ සීග්‍රයෙන් වෙනස් වන ලෝකයක් තුළ පැවැත්ම රඳා පවතින්නේ අඛණ්ඩව නවීකරණයට සහ වෙනසට අනුගත වීම මත බවයි. වර්තමාන උසස් අධ්‍යාපනයට මෙම දෘෂ්ටිකෝණය ඉතා වැදගත් වේ. ආයතනික වශයෙන් පිළිගත්තද නැතද සිසුන් දැනටමත් AI භාවිතයට හුරුව සිටින අතර, එය තාවකාලික ප්‍රවණතාවක් නොව ඉගෙනුම් ක්‍රියාවලියේ ස්ථිර වෙනසකි.
කෘත්‍රිම බුද්ධිය මගින් ශිෂ්‍යයාගේ මනස උත්තේජනය කිරීමට, අදහස් ව්‍යුහගත කිරීමට සහ භාෂාමය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වුවද, යුනෙස්කෝ වැනි ජාත්‍යන්තර ආයතන සහ පර්යේෂකයන් විසින් එහි අඩංගු අවදානම් සහ අභියෝග පිළිබඳව ද අවවාද කර ඇත. වැරදි තොරතුරු, පක්ෂග්‍රාහී බව සහ තාක්ෂණය මත අධික ලෙස යැපීම වැනි ගැටලු මෙන්ම, අධ්‍යයන අඛණ්ඩතාව (Academic Integrity) සහ බුද්ධිමය දේපල අයිතිය පිළිබඳ සදාචාරාත්මක අභියෝග ඒ අතර වේ. මේ නිසා AI යනු ඉගෙනුම් ක්‍රියාවලියට විකල්පයක් නොව, එය කළමනාකරණය කරගත යුතු මෙවලමක් ලෙස සැලකිය යුතුය.
මෙම අභියෝගය ජයගත හැකි එකම මාර්ගය වන්නේ AI භාවිතය තහනම් කිරීම නොව, එයට අනුගත වෙමින් අධ්‍යාපන ක්‍රමවේද ප්‍රතිසංස්කරණය කිරීමයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අංශය මෙම නව යථාර්ථයට ගැළපෙන පරිදි ඇගයීම් ක්‍රමවේද සකස් කළ යුතුය. ඒ හා සමානව, සිසුන්ට AI සදාචාරාත්මකව සහ වගකීමෙන් යුතුව භාවිත කිරීම සඳහා අවශ්‍ය වන ‘AI සාක්ෂරතාවය’ උසස් අධ්‍යාපනයේ මූලික අංගයක් බවට පත් කළ යුතුය.
සාරාංශයක් ලෙස, කෘත්‍රිම බුද්ධිය යනු තර්කනය සහ විවේචනාත්මක චින්තනය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි සාධකයක් වුවද, එය ලෝකයේ ඉදිරි ගමන් මග තීරණය කරන ප්‍රබල තාක්ෂණික මෙවලමකි. එබැවින්, එය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, අධ්‍යාපනය තුළ AI භාවිතය වඩාත් ඵලදායී, සදාචාරාත්මක සහ වගකීම් සහගතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිසි පද්ධති ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.














