27 April 2024
#ව්‍යාපාර

STC ගිය වසරේදී රුපියල් ලක්ෂ 614 ක ලාබයක් උපයයි

2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් රුපියල් ලක්ෂ හයසීය දාහතරක ශුද්ධ ලාබයක් උපයා ලබා ඇති බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව කියා සිටියේ 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයක් බවයි. 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාබයක් ලබාගෙන තිබිණ. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති හුසෙන් අහමඩ් බහිලා මහතාගේ නායකත්වයෙන්, ගතවූ වසර කිහිපය තුළ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට සංස්ථාව සමත්ව තිබේ.

2018 මුදල් වසරේදී, සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් මිලියන 4334.1එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයකි. විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි. 1971 වර්ෂයේදී ඇරඹි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනාගාරය ඇතුළුව නාරාහේන්පිට මෙගා, අනුරාධපුර, යාපනය, මහනුවර, මාතර, පොළොන්නරුව, කුරුණෑගල, සායින්තමරුදු, යන නගරවල ප්‍රදර්ශනාගාර නවයක් පවත්වාගෙන යයි.

මේ වසරේදී ගාල්ල සහ ත්‍රිකුණාමලය නගරවල නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. කාර්යාල ලිපි ද්‍රව්‍ය, ගෘහ විදුලි උපකරණ, කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍රෝපකරණ, බැටරි, ටයර්, තොරතුරු තාක්ෂණික හා පරිගණක, පරිගණක උපාංග, රසායනික අමුද්‍රව්‍ය, වායුසමීකරණ, සහ විද්යුත් උපකරණ ඇතුළු අලෙවි සේවා රැසක් සපයමින් පෞද්ගලික අංශය සමග කරට කර තරඟයකින් තම වෙළෙඳපොළ දිනෙන් දින ප්‍රවර්ධනය කර ගනිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් ලබා දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *