27 April 2024
#සංවර්ධන

ආයෝජකයින් දිරි ගැන්වීමට කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය කඩිනමින් සංවර්ධනයට පියවර

දෙස් විදෙස් ආයෝජකයින් රැසක් සිය කර්මාන්ත පවත්වාගෙන යන වත්තල, කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

මංතීරු හතරක් යටතේ සංවර්ධනය වන මෙම මාර්ගයේ දුර කිලෝ මීටර් 2.2 කි. මෙහි පළමු අදියර යටතේ ගෑස් කඩේ හන්දිය සිට කෙරවලපිටිය අන්තර් හුවමාරුව දෙසට කිලෝ මීටර් 0.5 ක දුරක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කෙරේ.

විධිමත් කාණු පද්ධති, විථී ලාම්පු, පදික මං තීරු, පාපැදි මං තීරු, වටරවුම් හතරක්, සේවා පියසක්, අලංකාරයට මග දෙපස ශාක රෝපණය ඇතුලු ආයෝජකයින් ආකර්ෂණීය වන අයුරින් මාර්ග පද්ධතිය සංවර්ධනය කෙරෙනු ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රම දායකත්වය මත සංවර්ධනය වන මෙම මාර්ගයේ මුලික අදියර සදහා රුපියල් මිලියන 123 ක මුදලක් වෙන් කර තිබේ.

ආයෝජකයින් දිරි ගැන්වීම සදහා යටිතල පහසුකම් සංවර්ධනය ඉතා වැදගත් බැවින් ඒ ආශ්‍රිත මාර්ග පද්ධතීන් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *