රට තුළ වැලි මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතල අර්බුදයට විසඳුමක් ලෙස, වැලි ජාවාරම මැඬපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ඇතුළත් විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
මනම්පිටියෙන් රුපියල් 9,200කට පටවන වැලි කොළඹට පැමිණෙන විට රුපියල් 150,000ක් වැනි ඉහළ මිලක් දක්වා වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විධිමත් නියාමනයක් නොමැති වීම සහ මහා පරිමාණ වැලි ජාවාරම බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් දිස්ත්‍රික් මට්ටමින් වැලි නියාමනය කිරීමට තීරණය කර ඇත.
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වසර 27කට පසුව යාවත්කාලීන කළ මෙම ප්‍රතිපත්තිය තුළින් රටේ ඛනිජ සම්පත්වලින් උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙරට ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස විදේශ රටවලට අපනයනය කරනවා වෙනුවට, ඒවාට අගය එකතු කිරීම (Value Addition) සිදු කිරීම මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණයි.
උදාහරණයක් ලෙස, කහටගහ ග්‍රැෆයිට් පතලේ ඇති උසස් තත්ත්වයේ ග්‍රැෆයිට් මගින් ගෝලීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින ‘ග්‍රැෆීන්’ වැනි වටිනා නිෂ්පාදන සැකසීමේ හැකියාව පවතින බව ඔහු පැවසීය. නව ප්‍රතිපත්තිය යටතේ ඛනිජ ගවේෂණ කටයුතු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හරහා පමණක් සිදු වන අතර, එහි ප්‍රතිඵල විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසුව ආයෝජකයින්ට ලබා දීමට නියමිතය. මෙමගින් ඛනිජ සම්පත් අවභාවිතය වැළැක්වීමට සහ ජාතික ආර්ථිකයට සැබෑ දායකත්වයක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ.
















