ඕමාන මුහුදු තීරය ආසන්නයේදී සිදු වූ අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් ඉන්දීය ජාතික නාවිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඉන්දු-අමෙරිකානු සබඳතාවල උණුසුම් තත්ත්වයක් මතුව තිබේ. ‘සෙටිබෙලෝ’ (Cetibelo) නම් තෙල් ප්‍රවාහන නෞකාවේ එංජින් කුටිය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
අමෙරිකානු හමුදාව විසින් ලබා දුන් උපදෙස් සහ නියෝග නොතකා නෞකාව යාත්‍රා කිරීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) තහවුරු කරයි. පලාවු දූපත් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති අවහිරතා උල්ලංඝනය කළ බවට අමෙරිකාව චෝදනා කරයි.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඉන්දීය නාවික කටයුතු අමාත්‍ය සර්බානන්ද සොනෝවාල් සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, මියගිය නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉන්දියාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. සිද්ධිය සැලවීමත් සමඟ ඉන්දීය විදේශ අමාත්‍යාංශය නවදිල්ලි නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේසන් මීක්ස් කැඳවා ප්‍රහාරය සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කර තිබේ.
ඉන්දීය කාර්ය මණ්ඩලයක් සිටින නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාර එල්ල වූ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර දිනයේදී ද පලාවු දූපත් ධජය සහිත තවත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු එහි සිටි ඉන්දීය ජාතිකයන් 24 දෙනෙකු ඕමාන හමුදාව විසින් බේරා ගනු ලැබීය. කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම් හමුවේ සිවිල් නෞකාවල ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය දැඩිව යොමු වී තිබේ.
















