යාන් ඔයේ අතු ශාඛාවක් හරස් කරමින් පදවි රක්ෂිතය තුළ අනවසරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත වැලි ජාවාරමක් වටලා, ඒ සමඟ සම්බන්ධ වූ සැකකරුවන් අට දෙනකු ඇතුළු වාහන කිහිපයක් කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කපුගොල්ලෑව තුලාන අංක 143 වාගොල්ලාකඩ ප්‍රදේශයේ මෙම ජාවාරම ක්‍රියාත්මක කර තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කෙරිණි. රක්ෂිතයේ අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක තැනින් තැන වැලි කැනීම් සිදු කර ඇති අතර, ජලාශ ගලා යන ඇළ මාර්ග පස් දමා වසා දැවැන්ත වන විනාශයක්ද සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
“වාගොල්ලාකඩ රාජා” නමැත්තකුගේ ප්‍රධානත්වයෙන් දීර්ඝ කාලයක සිට දේශපාලන සහ ඉහළ නිලධාරීන්ගේ රැකවරණය මැද මෙම ජාවාරම සිදුවී ඇති බවට තොරතුරු ලැබී තිබේ. යාපනය සහ මන්නාරම වැනි ප්‍රදේශවලට වැලි ප්‍රවාහනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. අදාළ ස්ථානයට ආසන්නයේ පොලිස් ස්ථාන තිබියදීත්, කිලෝමීටර් 50ක පමණ දුරක සිට පැමිණි විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදු කරන තුරු කිසිවෙකුත් එය නොදැකීම බරපතල ගැටලුවක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ටිපර් රථ 4, ස්කැවේටර් රථ 2 සහ වැලි තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා කපුගොල්ලෑව පොලිසියට භාරදී ඇත.














