හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කිරීමේදී ඉරානය වෙත කිසිදු ආකාරයක ගාස්තුවක් හෝ පරිත්‍යාගයක් නොගෙවන ලෙස අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ලොව පුරා නාවික සහ නැව් සමාගම් වෙත දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. සහන ආධාර හෝ පුණ්‍යායතන හරහා වක්‍ර ලෙස සිදුකරන ගෙවීම් පවා දැඩි සම්බාධකවලට යටත් විය හැකි බව මෙහිදී අවධාරණය කර ඇත.
ඊශ්‍රායලය සහ අමෙරිකාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමේ යෝජනාවල කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ටෙහෙරානය යෝජනා කර තිබේ. ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ඉරානය විසින් මෙලෙස මුදල් ඉල්ලා සිටින බවත්, එක් නෞකාවක් වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන 2ක මුදලක් ගෙවා ඇති බවට වාර්තා පළ වී ඇති බවත් අමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) පවසයි.
ඉරාන රතු අඩසඳ සංගමය (Iranian Red Crescent Society) වැනි සංවිධාන හරහා පුණ්‍ය කටයුතු ලෙස සිදුකරන ගෙවීම් පවා සම්බාධකවලට යටත් විය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත. ඉරාන විනිමය මධ්‍යස්ථාන සහ තෙල් නැව් වෙත දැනටමත් අලුතින් සම්බාධක පනවා ඇති අතර, ඕනෑම වක්‍ර ගෙවීමක් හඳුනාගැනීමට අමෙරිකානු බලධාරීන් සූදානමින් සිටියි.
ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායූන්ගෙන් (LNG) සියයට 20ක් පමණ ගමන් කරනුයේ මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. මේ නිසා මෙම මුහුදු සීමාව ලෝකයේ උපායමාර්ගිකව වඩාත් වැදගත් නාවික මාර්ගයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, අමෙරිකානු බැංකුවලට සෘජුවම ඉලක්ක නොකරන්නේ නම් චීනය දිගටම ඉරාන තෙල් මිලදී ගැනීමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














