27 April 2024
#සංවර්ධන

තල් ගස් කැපීම තහනම් කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න – ජනපති

තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානයට යොමු කර සිටියේය. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා තිබේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03කි. ඉන් බිලියන 1.8ක් පරිභෝජනයට ගැනේ. වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන නිලධාරීහූ සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *