ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස පාසල් සිසුන්ට අත් පා ආවරණය වන පරිදි වෙනත් සුදුසු ඇඳුමක් භාවිත කිරීමට අවසර ලබා දී තිබේ. පවතින ඩෙංගු අවධානම් තත්ත්වය සළකා බලා මෙම තීරණය ගත් බවත්, ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේය.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාත්මක මදුරු මූලාශ්‍ර විනාශ කිරීමේ වැඩසටහන් මව්පියන්ගේ සහ ආදි සිසුන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව සිදුකරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. මේ අතර, ජාතික ඩෙංගු මර්‌දන ඒකකය පවසන්නේ ඩෙංගු අධි අවධානම් කලාප 60ක් ආවරණය වන පරිදි හෙට (13) සිට විශේෂ මදුරු මර්‌දන වැඩසටහනක් ආරම්භ කරන බවයි.
බස්නාහිර පළාතේ හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් කලාප 23ක් සඳහා මෙම වැඩසටහන් පසුගිය ඉරිදා සිටම ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපති කාර්‌යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් මෙම මර්‌දන කටයුතු සිදුකෙරෙන අතර, පාසල් සිසුන් ඇතුළු පාර්‌ශ්වයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිරන්තර අධීක්ෂණයක් සිදුකරයි.
















