මාලදිවයින කේන්ද්‍ර කරගත් Sun Siyam Resorts හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah Resort විසින් පාසිකුඩා මුහුදු බොක්ක ආශ්‍රිතව ‘Aqua Lounge’ නමින් පාවෙන අවන්හලක් නිල වශයෙන් දියත් කර තිබේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඉන්දියානු සාගරය මත පිහිටි එකම පාවෙන සුඛෝපභෝගී භෝජන අත්දැකීම මෙය වන අතර, එය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන රටේ එකම පාවෙන අවන්හල ද වේ.
වර්ග අඩි 400ක වපසරියකින් යුත් මෙම අවන්හල වෙත අමුත්තන්ට හෝටල් වෙරළේ සිට කැටමරන් පාරුවක් මඟින් ළඟා විය හැකිය. පරිසර හිතකාමී දැව සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය භාවිතයෙන්, තිරසාරභාවය මුල් කරගනිමින් මෙම ව්‍යුහය නිර්මාණය කර තිබේ. වෙරළේ සිට සාගරය දෙස බලනවා වෙනුවට සැබවින්ම සාගරය මත හිඳ එම අත්දැකීම විඳගැනීමට අමුත්තන්ට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව Sun Siyam Pasikudah හි සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා ප්‍රකාශ කළේය.
නැගෙනහිර වෙරළේ නැවුම් රසයන්ගෙන් සමන්විත අංග හතකින් යුත් විශේෂ ආහාර වේලක් පිරිනමන මෙම අවන්හලේදී, සුන්දර හිරු බැස යන දර්ශනය රසවිඳිමින් කොක්ටේල් පානයකින් අත්දැකීම ආරම්භ කිරීමට අමුත්තන්ට හැකියාව ලැබේ. පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි කාමර 34කින් යුත් Sun Siyam Pasikudah Resort, සංචාරකයින් සඳහා සුවිශේෂී අත්දැකීම් රැසක් පිරිනමන සුඛෝපභෝගී හෝටලයක් ලෙස ප්‍රකටය.















