ජාතික තරුණ සේවා සභාවේ 2026 වසරේ මුල් මාස හයක කාලය තුළ අයවැය ප්‍රතිපාදන (ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම්) මඟින් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ විශේෂ සමාලෝචන රැස්වීමක් අද (ජූනි 22) මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වුණා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, සභාවේ ප්‍රධාන ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ තාරුණ්‍යය වෙනුවෙන් නිර්මාණය කෙරෙන “Youth App” ජංගම දුරකථන යෙදවුමේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණා.
මීට අමතරව, ජාතික ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තියේ සඳහන් “Youth Circle” වැඩපිළිවෙළ එළඹෙන ජූලි මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට මෙහිදී තීරණය වූ අතර, ඒ යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ නායකයින් 10 දෙනා බැගින් තෝරාගෙන නායකත්ව පුහුණු කඳවුරු 60ක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා. මෙවර යෞවන සම්මාන උළෙල සහ යෞවන නාට්‍ය උළෙල ප්‍රාදේශීය මට්ටමේ සිටම ආරම්භ කරන අතර, මේ වන විටත් නාට්‍ය පිටපත් 100ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මනා මූල්‍ය කළමනාකරණයකින් යුතුව සියලුම තරුණ ප්‍රජාවට ප්‍රතිලාභ ලැබෙන සේ කටයුතු කරන ලෙස උපදෙස් දුන් අතර, කිසිදු තරුණයෙක් හෝ තරුණියක් අතනොහැර ග්‍රාමීය මට්ටමේ තරුණ සහභාගිත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
















