දේශීය මල් වගාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කෙරෙන “සුවහස් අභිමන් මල් දැක්ම” කොළඹ දිස්ත්‍රික් ප්‍රදර්ශනය අද (ජූනි 22) බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ආරම්භ වුණා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම ප්‍රදර්ශනය අද සිට ලබන 25 වැනිදා දක්වා දින 4ක් පුරා පැවැත්වීමට නියමිතයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, දැනට දේශීය මට්ටමට සීමා වී ඇති මල් වගා කිරීමේ සහ අලෙවි කිරීමේ කටයුතු විදේශ අපනයන මට්ටම දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය මැදිහත්වීම සහ සහාය ලබා දෙන බවයි.
පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව 2005 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහන, මේ වන විට දිස්ත්‍රික්ක 24ක් පුරා මල් සමිති 224ක් හරහා සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මෙවර දියත උයනේ පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මල් සමිති 16ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 84ක් ස්ථාපිත කර ඇති අතර, විවිධ මල් වර්ග, විසිතුරු පැළෑටි, වගා මාධ්‍ය මෙන්ම මල් නිර්මාණ ද මෙහිදී ජනතාවට දැකබලා ගැනීමට සහ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
















