මිනිස් ජීවිතයේ සැඳෑ සමයට එළඹෙත්ම අප නිතරම අසන්නට ලැබෙන්නේ මතකය ගිලිහී යන ඇල්සයිමර් හෝ ඩිමෙන්ශියාව වැනි රෝගී තත්ත්වයන් පිළිබඳව වුවද, ඇතැම් පිරිසක් මේ ස්වභාවික නීතියට මුළුමනින්ම අභියෝග කරමින් සිටිති. ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වසර විසිපහක් තිස්සේ සිදුකළ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ අසූව දශකය පසුකළ ද පනස් හැවිරිදි තරුණයෙකුගේ මෙන් තියුණු මතකයක් හිමි සුවිශේෂී පුද්ගලයන් පිරිසක් ලොව වෙසෙන බවයි. “සුපිරි වයෝවෘද්ධයන්” හෙවත් “SuperAgers” ලෙස හඳුන්වන මෙම පිරිස, සාමාන්‍යයෙන් වයසට යනවිට සිදුවන මොළයේ අඩපණ වීම් වලට කිසිදු ඉඩක් නොතබා තම මානසික සෞඛ්‍යය උපරිම මට්ටමෙන් පවත්වා ගැනීමට සමත් වී තිබේ.
මෙම අසිරිමත් මිනිසුන් පිළිබඳව මහාචාර්ය සැන්ඩ්‍රා වයින්ට්‍රෝබ් ඇතුළු පර්යේෂක කණ්ඩායම කළ දීර්ඝ කාලීන විමර්ශනයේදී ඔවුන්ගේ මොළයේ අභ්‍යන්තර ව්‍යුහය තුළ සුවිශේෂී ආරක්ෂක යාන්ත්‍රණ දෙකක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න නම් මතකය විනාශ කරන හානිකර ප්‍රෝටීන බැඳීම් මොළය තුළ නිර්මාණය වීමට එරෙහිව පවතින දැඩි “ප්‍රතිරෝධය” වන අතර, දෙවැන්න එම හානිකර ද්‍රව්‍ය තැන්පත් වුවද ඉන් මොළයේ සෛලවලට හානි වීමට ඉඩ නොදෙන “ඔරොත්තු දීමේ හැකියාවයි”. තීරණ ගැනීම සහ හැඟීම් පාලනයට වැදගත් වන මොළයේ බාහිර ස්ථරය මොවුන්ගේ වයසට සාපේක්ෂව තුනී නොවීමත්, සමාජශීලී සබඳතා වලට බලපාන නියුරෝන සෛල සාමාන්‍ය මිනිසුන්ට වඩා විශාලව පවතිමින් සක්‍රීයව ක්‍රියාත්මක වීමත් විද්‍යාඥයන්ගේ මවිතයට හේතු වී තිබේ.
වෛද්‍ය මාර්සෙල් මෙසුලම් විසින් ආරම්භ කළ මෙම පර්යේෂණය සඳහා මියගිය පසුව පවා තම මොළය පරිත්‍යාග කළ උදාර මිනිසුන් නිසා අනාගතයේදී මතකය සුරකින ඖෂධයක් නිපදවීමට අතිවිශාල පදනමක් සැකසී ඇත. මෙම සුපිරි වයෝවෘද්ධයන් අපට කියා දෙන්නේ වයසට යාම යනු අනිවාර්යයෙන්ම මතකය පිරිහීම නොව, ක්‍රියාශීලී සමාජ සබඳතා සහ නිරෝගී මනසක් තුළින් මහලු විය ජයගත හැකි බවයි. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට අනාගතයේදී සහනයක් වනු ඇත්තේ තමන්ගේ ශරීරය විද්‍යාව වෙනුවෙන් පූජා කළ මේ උතුම් මිනිසුන් ලබාදුන් “විද්‍යාත්මක අමරණීයත්වය” මඟින් බව නිසැකය.














