ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.
ආණ්ඩුක්‍රම වස්ථාවේ 77 වැනි වගන්තිය යටතේ මෙම අනුමැතිය හිමිවී ඇති අතර, ඊට සමගාමීව මහාධිකරණ විනිසුරුවරුන් සහ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනතද සංශෝධනය කිරීමට නියමිතය. මෙම යෝජිත සංශෝධනවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාද, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වාද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වාද වසර 2කින් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණය ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය ලබාගැනීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙවැනි සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කළද, අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ කිසිදු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නොමැති බවයි.














