2022 වසරේදී ගම්පහ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිලධාරියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව, පහරදීම සිදු කළ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා විසින් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 15ක වන්දියක් (එක් අයෙකුගෙන් රු. ලක්ෂ 5 බැගින්) ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය.
මීට අමතරව, අදාළ පහරදීමෙන් පසු පෙත්සම්කරුගේ වැඩ තහනම් කිරීමට ගත් තීරණය ද නීතිවිරෝධී බව අධිකරණය තීන්දු කර ඇත. එම අසාධාරණ වැඩ තහනම වෙනුවෙන් එවක ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් රුපියල් 50,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.














