නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් බව පවසමින් රජයේ වනාන්තර එළිපෙහෙළි කිරීම සහ විදුලි වැටවල් ඉදිකිරීම මඟින් ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) තීරණය කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් ගොනු කරන ලද නඩුවක තීන්දුව ලබා දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.
නාකොළගනේ විහාරාධිපති හිමියන් විසින් විහාරයට අයත් නොවන රජයේ වනාන්තර අක්කර 1,500ක් පමණ නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර වාණිජ වගාවන් සහ ගල් වැඩපළ සඳහා ලබා දී තිබීම මෙම නඩුවට හේතු විය. මෙම විනාශය හේතුවෙන් පාලුකඩවල වැවේ පෝෂක ප්‍රදේශ විනාශ වී ඇති අතර, නීති විරෝධී විදුලි වැටවල් නිසා අලි-මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව අධිකරණය පිළිගෙන ඇත.
අධිකරණය විසින් අදාළ ප්‍රදේශය අභයභූමියක් ලෙස නම් කිරීමටත්, විනාශ වූ වනාන්තර නැවත වගා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත යුතු අතර එහි පිරිවැය විහාරාධිපති හිමියන් විසින් දැරිය යුතු බවටත් නියෝග කරන ලදී. එමෙන්ම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන තම රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම පුවත්පත් නිවේදන මඟින් ප්‍රසිද්ධ සමාව අයැදිය යුතුය. පරිසර විනාශය සහ සතුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ද නියෝග කෙරුණු අතර පරිසරය සුරැකීම රජයේ මෙන්ම පුද්ගලයන්ගේ ද වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.














