පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවේ පසුවන කාලසීමාව තුළ තමන්ට අමානුෂික වදහිංසා සිදුකරන බව පවසමින් ඒ මහතා ආහාර වර්ජනයක නිරතව සිටි අතර, සිය මරණය ආසන්න බව පවසමින් දෑස් දන්දීමට සහ අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස සිය නීතිඥවරුන් හරහා ඉල්ලීම් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සලේ මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ, ඔහුව පහසුකම් සහිත රෝහලකට යොමු කරන ලෙසත් ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මගින් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙසත්ය. ඉකුත් පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගත් දා සිට රැඳවුම් නියෝග මත රඳවා සිටින සලේ මහතාට ප්‍රමාණවත් ආහාර නොලැබීම, වැසිකිළි පහසුකම් භාවිතයට අවසර නොමැතිකම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම ඇතුළු කෘෘර සැලකීම් සිදුවන බවට ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබුණි.
මෙම අමානුෂික සැලකීම් හේතුවෙන් සුරේෂ් සලේ මහතාට දරුණු මලබද්ධ තත්ත්වයක් සහ විවිධ ශාරීරික සංකූලතා මතු වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේද සඳහන්ව ඇතැයි ඔහුගේ බිරිඳ පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඇය ඉල්ලා සිටින අතර, වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඔහු හදිසි ප්‍රතිකාර ඒකකය තුළ විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.















