ස්විට්සර්ලන්තයේ සමස්ත ජනගහනය මිලියන 10කට සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ මතභේදාත්මක යෝජනාව එරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව මූලික ඡන්ද පුරෝකථන වාර්තා පවසයි. දැනට ලැබී ඇති දත්තවලට අනුව ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 55%ක් මෙම යෝජනාවට විරුද්ධව ද, 45%ක් ඊට පක්ෂව ද ඡන්දය ප්‍රකාශ කර ඇත.
දිගු කලක සිට සංක්‍රමණික විරෝධී මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින දක්ෂිණාංශික ‘ස්විස් මහජන පක්ෂය’ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. 2002 වසරේදී මිලියන 7.3ක් ලෙස පැවැති ස්විට්සර්ලන්ත ජනගහනය මේ වන විට මිලියන 9.1ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉන් 27%ක්ම ස්විස් පුරවැසිභාවය නොමැති බාහිර පුද්ගලයින් වේ.
ජනගහනය සීමා කිරීම මඟින් ප්‍රවාහනය, නිවාස සහ පරිසරය මත ඇති වන පීඩනය අවම කරගත හැකි බවට මහජන පක්ෂය තර්ක කළ ද, ඡන්දදායකයන් බහුතරයක් ඊට එකඟ වී නැත. සංචාරක ව්‍යාපාරය, රෝහල් සහ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය ශ්‍රමිකයන් අහිමි වනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කර සිටිති.
එසේම මෙම ජනමත විචාරණය හේතුවෙන් යුරෝපා සංගමය සමඟ ස්විට්සර්ලන්තය ඇති කරගෙන තිබූ ‘පුද්ගල නිදහස් සංචරණ ගිවිසුම’ දැඩි අවදානමකට ලක්ව තිබුණි. ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනවලින් අඩකට වඩා අලෙවි වන්නේ යුරෝපා සංගමයේ රටවලට වන අතර, මෙම වෙළෙඳපොළ අවස්ථාව හිමිවන්නේ යුරෝපීය ජනතාවට නිදහසේ සංචරණය වීමට ඉඩ දීමේ එකඟතාව මතය. යෝජනාව සම්මත වූයේ නම් ස්විට්සර්ලන්තයට එම වැදගත් වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීමට සිදුවන බැවින්, ව්‍යාපාරික නායකයන් ද මෙම යෝජනාවට දැඩි විරෝධයක් පළ කර තිබුණි.
















