සිරියාවේ 2025 මාර්තු මාසයේ වෙරළබඩ ප්‍රදේශවල සිදුවූ මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැවැති නඩුවේ පළමු තීන්දු ඇලෙප්පෝ හමුදා අපරාධ අධිකරණය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් අද (17) තීන්දු ලබාදී ඇත.
ඒ අනුව එක් විත්තිකරුවෙකුට මරණ දඬුවමත්, තවත් විත්තිකරුවෙකුට ජීවිතාන්ත සිරදඬුවමත්, තෙවැනි විත්තිකරුවෙකුට වසර 20ක සිරදඬුවමත් නියම කර ඇති අතර සිව්වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කර තිබේ. අදාළ නඩු විභාගය 2025 නොවැම්බර් 18 වැනිදා ආරම්භ වී ඇති අතර, සාක්ෂි සහ විත්තිකරුවන්ගේ කරුණු සලකා බැලීම සඳහා මහජන විවෘත නඩු වාර කිහිපයක් පවත්වා තිබේ.
2025 මාර්තු මාසයේ සිරියාවේ වෙරළබඩ ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගිය බව විමර්ශන වාර්තා පෙන්වා දෙයි. සිරියානු ජාතික විමර්ශන කොමිසම විසින් පුද්ගලයන් 298 දෙනෙකු සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබූ අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශනවලදී සිවිල් වැසියන් ඉලක්ක කරගත් පුළුල් හා ක්‍රමානුකූල ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳද කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවේ ඉතිරි විත්තිකරුවන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීන්දු ලබාදීමට නියමිත බව වාර්තා වේ.














