තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ මහතා එස්වාටිනි (Eswatini) රාජ්‍යයේ රජු හමුවෙමින් අවධාරණය කළේ ලෝකය සමඟ සබඳතා පැවැත්වීමට තම රටට ඇති අයිතිය කිසිදු බාහිර බලවේගයකට නැවැත්විය නොහැකි බවයි. චීනයේ දැඩි විරෝධය නොතකා තායිවාන ජනාධිපතිවරයා සිදුකළ මෙම සංචාරය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
තායිපේ පාලනය පවසන පරිදි, මෙම සංචාරය වැළැක්වීමට බීජිං පාලනය විවිධ උත්සාහයන් දරා ඇති අතර, චීන බලධාරීන් විසින් තායිවාන ජනාධිපතිවරයාව දැඩි ලෙස අපහාසයට ලක් කරමින් විවේචනය කර ඇත. විශේෂයෙන්ම ඔහු “මීසෙක්” (rat) ලෙස හඳුන්වමින් චීනය සිදුකළ ප්‍රකාශ හරහා දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික උණුසුම තවදුරටත් වර්ධනය වී තිබේ.
එස්වාටිනි රාජ්‍යය යනු තායිවානය සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු මහද්වීපයේ පිහිටි එකම රටයි. මෙම හමුවේදී දෙරට අතර මිත්‍රත්වය තහවුරු කළ ජනාධිපති ලායි, තායිවානයේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර සබඳතා ආරක්ෂා කර ගැනීමට කැපවන බව නැවත වරක් ප්‍රකාශ කළේය.














