ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා (Tourist Visas) නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තායිවාන රජය තීරණය කර ඇති බව තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, නව වීසා ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලාංකිකයින්ගෙන් සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම මින් ඉදිරියට සිදු නොකෙරේ.
කෙසේ වෙතත්, තායිවාන රාජ්‍ය ආයතනයක නිල ආරාධනයක් මත සිදුකෙරෙන සංචාර, අධ්‍යාපනික හුවමාරු වැඩසටහන්, ඥාතීන් හමුවීම (තෙවන පරම්පරාවේ ඥාතීන් දක්වා), ව්‍යාපාරික කටයුතු, නෞකාවල සේවයට එක්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි විශේෂිත හේතූන් සඳහා වීසා අයදුම් කිරීමට තවදුරටත් අවස්ථාව පවතී.
එම විශේෂිත වර්ගීකරණයන් යටතේ අයදුම් කරන ශ්‍රී ලාංකිකයින් චෙන්නායි හි පිහිටි තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය හෝ සිංගප්පූරුවේ තායිපේ නියෝජිත කාර්යාලය හරහා අදාළ ලේඛන ඉදිරිපත් කර වීසා ලබාගත යුතු බවද වැඩිදුරටත් සඳහන් වේ.
















